පිං මදියැයි නැති පිං ගැන දුක්වීමට වඩා දැනට පවතින පිනෙන් වැඩ ගැනිම කොපමණ වටින්නේද?



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!


වාසනාවන්ත පිංවත්නි
අපගේ ජීවිතවල ප‍්‍රශ්ණ කරදර ප‍්‍රකාශ කිරීමට අපගේම ජීවිත කාලය අපට මදියැයි කියා දැනෙන අවස්ථා අනන්තය. මෙයට හේතුව නම් ප‍්‍රශ්ණ ගැටලූ අපගේ දරා ගැනීමේ සීමාව ඉක්මවා යෑම යැයි සිතේ. අපිට වැරදෙන අවස්ථාවල අපි කියන ප‍්‍රකාශයක් නම් ”මේ දේවල් ලබන්නට අපට පිං නැහැ.” ”අනෙක් අයට තියෙන දේවල් අපට නැති වෙන්න, අපට පිං මදි ඇති.

මෙවැනි සෑම ප‍්‍රකාශනයක් තුලම අපට නොතේරෙන යමක් ඇත. එනම් නැති පිං ගැන කම්පා වන අප දැනට පවතින පිං ගැන සෑහීමට පත් නොවීමය. මෙලොව සියල්ල සිදු වන්නේ හේතුඵල දහමට අනුව නම් මා හට කම්පා වීමට හේතුවක් නැත. මාගේ ප‍්‍රශ්ණය මට ලැබෙන නොලැබෙන දේ සතුටින් පිලිගැනීමේ මානසිකත්වය නැති කමය. අපට රැුකියාවක් නැහැ කියා ඒ ගැන සිතා අපි දුක් වෙමුව. නුමුත් රැුකියාවක් නොමැතිව ජීවත් වීමේ මානසිකත්වය තුල පවා අපට යහපතක් පවති. අද බොහෝ අය රැුකියා කාර්්‍යබහුලතාවය නිසා දරුවන්ගේ දෙමව්පියන්ගේ යුතුකම් වගකීම් පැහැර හරිති. බොහෝ අයගේ දරුවෝ වැඩිපුර කාලයක් ගතකරන්නේ තම නිවසේ සේවිකාවන් සමග නොවේද. දරුවෝ වැඩි පුරම හදුනන්නේ දෙමව්පියන්ට වඩා ගෙදර සේවකයෝය.තම රැුකියාව නිසා මානසික ආතතියට පත් වුවෝ අප‍්‍රමාණය. මෙවැනි ප‍්‍රශ්න එකක්වත් රැුකියා විරහිත අයට නැත. මෙයින් රැුකියා නොමැතිව සිටීම නිවැරදි යන්න අපගේ අදහස නොවේ. අපට සිදු වන නොසිදුවන සියල්ල තුල යහපතක් ඇත. එය දකින්න පුරුදු වන්න. අපට නොලැබෙන සියල්ල තුල ලැබීමක් ඇත. එම ලැබීම ප‍්‍රඥාවෙන් දැකීමටත් ඒ තුල ප‍්‍රිති වීමටත් දක්‍ෂ වන්න. පවතින දේට වඩා නොපවතින දේ තුල පැවැත්ම වැඩිය. මන්ද පැවැත්මට සීමාවක් ඇත. නොපතින දේට සීමාවක් නැත. ලෞකික ලෝකයේ සියල්ල නිර්මාණය වී ඇත්තේ පැවැත්මටය. ඔබට මෙපමණ දුක් සහ කරදර පැමිණෙන්නේ ඔබ පැවැත්ම තුල පවතින නිසාය. නොපැවැත්ම තුල පැයක් ජීවත් වී බලන්න ජීවිතේ කිසිදා නොලැබුනු නිවීමක් දැනෙනු ඇත.

බොහෝ උපාසක උපාසිකාවන්ගේ අදහස නම් අපට නිවන් දකින්නට පිං මදිය යන්නයි. එවැනි අදහසක් ඔබ සතුවත් ඇත්නම් නිවැරදි කරගැනීමට දරන උපකාරයක වෑයමකි මේ අනුශාසනාව. පිංවත්නි නිවීමට පිං නැති බව තේරුම් ගත් ඔබ, තමා මේ වනවිට ලබා ඇති මිනිසත් බවයේ වටිනාකමත් ඒ තුල ඇති පිනත් තේරුම් ගත්තෙහිද? නිවීමට අපට පිං මදියැයි කියන අපට ලැබී ඇති මිනිසත්භවේ පින තවම නොවැටහුනේය.
වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය. මෙවැනි අවුල්සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි. ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ. එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම, ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි. ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි. ඔබගේ අවශ්‍යාතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි. දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය. දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න.

අපගේ පිං : මිනිසත් භවය පෙර පිනකි.
ශාසනය පවතින සමයේ උපත ලැබීම පෙර පිංකි.
උපතින් මන්දමානසික නොවීම පෙර පිනකි.
තමාගේ අඩුපාඩු වැටහීම පෙර පිනකි.
ශාසනේ සාමාජිකතවය ලැබීම පෙර පිනකි.
දුක තේරුම් යෑම පෙර පිනකි.
දුකින් නිදහස් විමේ අවශ්‍යතාවය දැනීම පෙර පිනකි.
සෑම දෙයක්ම නිෂ්ඵල යන වැටහීම පෙර පිනකි.
සෑම දෙයකින්ම නිෂ්ඵල යැයි කලකිරීම පෙර පිනකි.
විවේකයට ඇති ප‍්‍රිය මනාපභාවය පෙර පිනකි.
නිවීමේ අවශ්‍යතාවය පෙර පිනකි.

මෙලෙස දහසක් පෙර පිං මේ වනවිටත් අපට ප‍්‍රතිඵලදි ඇති විට, එය තේරුම් නොගෙන නැති පිනක් ගැන සිතමින් දුක් වෙමු නම් මෙයට අපගේ අනුවනකම යැයි නොකිය කියන්නට වෙන වචනයක් ඇද්ද? මෙලොව ඉපදෙන සියලු සත්ත්වයෝ කුමන හෝ දවසක තමා පතන තුන්තරා බෝධියකින් නිවන් දැකිය යුතුය. එදිනට අප අල්ලා ගත් භෞතික හා මානසික සියල්ල අකැමැත්තෙන් උවද අත්හරින්නට සිදු වේ නම්, ලැබීමට වඩා නොලැබීම අත්හැරීමට උපකාරයක් නොවේද? අල්ලා ගත්ත සියලූ දේ අත්හරින්නට සිදු වේ. මෙය ලෝක ධර්මතාවයයි. මෙයට හේතුව සියලූ සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් අල්ලාගත් දේ තුල නිත්‍යතාවයක් නොපැවතීමය. ඕනෑම සිතුවිල්ලකට ධාරිතාවක් ඇත. එම ධාරිතාව ක්‍ෂය වන විට එය අනිත්‍ය බවට පත් වේ. භෞතිකව අප අල්ලා ගන්න සියල්ල කෙරෙහි අපගේ කැමැත්තේ ධාරිතාවක් ඇත. එම කැමැත්තේ ධාරිතාව වෙනස්වනවිට හෝ ක්‍ෂය වනවිට එම භෞතික දේ අපි අත්හරින්නෙමු. නැත්නම් අන්සතු කරන්නෙමු.
නොලැබෙන සෑම මොහොතක් පාසා ඒ දේ ලැබීමෙන් අත්හැරීමට තිබු වෙහෙසින් නිදහස් වීම අපට යහපතක් නොවේද? ආයුෂය වර්ණය සැපය බලය ප‍්‍රඥාව ලැබෙන්නේ අපගේ පිං කුෂල්වලට අනුව නම් අප ජීවත්ව සිටින සෑම මොහොතක්ම පෙර පිං වල ප‍්‍රතිඵලයක් යැයි කීවොත් විස්වාස කරන්නේද? තප්පරයක් පසා පෙර පිං ප‍්‍රතිඵල දේ නම් මෙතරම් පිං උතුරා යයි නම් අපි පෙර පිං මදියැයි සිතමින් සිටින්නේ වැරදි අවබෝධයක නොවේද? .

අපගේ ඇසට පෙනෙන සෑම රූපයක් තුලම පිං පලිසන් දී ඇත. ඇසෙන සෑම සබ්දයක් තුලම පිං පලිසන් දී ඇත. දැනෙනස සෑම දැනීමක්් තුලම පිං පලිසන් දී ඇත. සිතෙන සෑම සිතුව්ල්ලක් තුලම පිං පලිසන් දී ඇත.
අපි අපගේ ජීවිතයේ පිං යැයි යමක් සිතා එය කෙරෙයි බලාපොරොත්තු තබා ගත කරන ජීවිතයට හුරුව සිටිමු. එය අපගේ දුර්වලකමකි. ලෝකය මෙතෙක් දැක්කේ කෙසේද යන්නට වඩා අදින් පසු මෙසේ දැකීමට පුරුදු වීම යහපති. අන්ධයෙකුට සාපේක්‍ෂව මා දකින සෑම දැක්මක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය. බිහිරෙකුට සාපේක්‍ෂව මට ඇසෙන සෑම සබ්දයක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය. ගොලූවෙකුට සාපේක්‍ෂව මා කථා කරන සෑම වචනයක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය. අබ්භගාතයෙකුට සාපේක්‍ෂව මා ජීවත්වන සෑම මොහොතක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය. මන්ද මානසික කෙනෙකුට සාපේක්‍ෂව නිරවුල් මනසින් සිතන සෑම සිතුවිල්ලක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය.

මේ ධර්මතාවය යමෙකුට තේරුම් ගන්නට හැකි නම් ඔව් තරම් වාසනාවන්ත කෙනෙක් නැති තරම්ය. එම වාසනාවන්තයා වෙන කව්රුත් නොව තුනුරුවන් සරණෙ යමින් මෙම කමටහන වඩන ඔබත් මමත්ය. අද සිට අපට නැති පිං ගැන දුක් නොවෙමු. ඇති පිං ගැන සතුටු වෙමු.

තවත් ලිපි

Card image
සුදුසු ප‍්‍රදේශයක් සොයා වෙහෙසීමට වඩා ඉන්න තැන සුදුසු තැන නොකරගන්නේ මන්ද?

මේ වනවිටත් ඔබ ජීවත් වන්නේ ඔබට සුදුසු තැනය ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව පතිරූපදෙසවාසො ච නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!...

Read More

Card image
ඔබත් නිවීම සොයන්නෙක්ද?

ඔබත් නිවීම සොයන්නෙක්ද? නිවීම ඇත්තේ සෙවීම තුල නොව නිවීම තුලය ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව අසේවනා ච බාලානං පණ්ඩිතානං ච සේවනා....

Read More